මහ සිකුරාද සහ පාස්කු ඉරිදා කිතුනුවකුට ඉතා වැදගත් දිනයන්ය.

Posted: April 14, 2022 in AG Presbytery

ජීවිතේ බලාපොරොත්තුවක් නොමැතිව, මංමුලාවී, අසරණ වී සිටි සෙනඟගේ ජීවිතයට අලුත් ආරම්භයක් උරුම වුයේ මෙම මහා සිකුරාදා දින සහ යේසුස්වහන්සේගේ නැවත නැගිටීමේ දින, එනම් නැවත නැගිටීමේ ඉරු දින පටන්ය. වසර දහස් ගණනකට පෙර එක්තරා සෙනඟක් මිසර දේශයේ වහලුන් ලෙස ජීවත්ව සිටියෝය. වසර හාරසිය ගණනක වහල් ජීවිතයේ පීඩාව දරාගත නොහැකිව අන්ත අසරණ වී සිටි යුගයක, මොවුන්ගේ වේදනාවේ හඬට සවන් දුන් මෙම ලෝකය මවා පාලනය කරන දෙවිඳුන් මෙම වහල්කමේ සිටි සෙනඟට අනුකම්පා කොට, එම වහල්කමේ දේශයෙන් පිටතට ගෙන ආ සේක. ඒ නිදහස ලැබුණු දිනය පාස්කුව ලෙස හඳුන්වයි.

එම සිදුවීමෙන් වසර දහස් ගණනකට පසු මුළු මිනිස් සංහතියේ වේදනාව සහ මංමුලා බව දෙවිඳුන් දුටු සේක. ඉන් මිනිසා මුදා, ජීවනයේ මාර්ගය දෙවිඳුන් පෙන්වීය. මිනිසා මුදවා, ගැනීමේ සැලැස්මේ කොටසක් ලෙසට යේසුස් ක්‍රිස්තුස් වහන්සේ මේ පොළොවට පැමිණියේ මේ ලොව වෙසෙන සියලු මනුෂ්‍යයන්ට බලාපොරොත්තුවක් ගෙන දීමටය. මන්ද මිනිසාගේ හදවතේ නැගෙන ශෝක වේදනාව, මරණ බිය දෙවිඳුන්ගේ හදවතට දැනුණි.  බලාපොරොත්තුවක් නොමැති  මිනිසා මංමුලා වී එහෙ මෙහෙ අත යන්නෙකු මෙන් ක්‍රියා කිරීම ගැන දෙවිඳුන් නොසතුටු විය. මන්ද උන්වහන්සේ මුළු මිනිස් සංහතියටම ප්‍රේම කරන්නා වු, ජීවනය දෙන්නාවු එකම දෙවියන්වහන්සේය.

යේසුස්වහන්සේ මේ පොළොවට පැමිණියේ දෙවිඳුන්ගේ හදවතේ ඇති ආශාව අපගේ ජීවිතයේ සිදුකරන පිණිසය. උන්වහන්සේ පැමිණියේ ඔබ සහ මා උදෙසාය. අපට නව බලාපොරොත්තුවක් හා ජීවනය දෙන්න උන්වහන්සේට අවශ්‍ය විය. ඒ වෙනුවෙන් උන්වහන්සේ තම ජීවිතය කැප කළ සේක. පිඩීත සෙනඟ දුටු හැම විටම උන්වහන්සේ ඔවුනට අනුකම්පා කළ සේක. උන්වහන්සේ රෝගීන් සුව කළ සේක. උන්වහන්සේගේ මුළු ජීවිතයම උන්වහන්සේ වටා රැස් වුණු අසරණ පීඩිත සෙනඟ වෙනුවෙන් වැය කළ සේක. උන්වහන්සේ නිතරම ධර්මිෂ්ඨ ජීවිතය ගැන කතා කළ සේක. අධර්මිෂ්ඨකමේ සිටි පව්කාර මිනිසුන්ට ප්‍රේම කරමින්, ඔවුන්ව පාපයෙන් ගළවා යහපත් මාර්ගයක ගමන් කරන්නට උපකාර කළ සේක.

මීට වසර 2000 කට ප්‍රථම මුළු ලෝකයාටම ආදරයෙන් පොළොවට පැමිණි උන්වහන්සේ කළා වූ යහපත් ක්‍රියාවන් නිසාම එවකට පැවති රජය විසින් කුරුසියක ඇණ ගසා මරා දමන ලදී. එය සිකුරාදා දිනයක් වූ අතර, පසුව මහා සිකුරාදා දිනය ලෙස නම් කරන ලදී. මෙය මහත් වේදනාකාරී මරණයකි. අපට ජීවනය දෙන්ට මේ ලෝකයට පැමිණි උන්වහන්සේට අපගේ පාප  නිසා මරණ දණ්ඩනය විඳින්නට සිදුවිය.

මෙම මරණය නිසා උන්වහන්සේ වටා රැස් වුණු, උන්වහන්සේගේ සහනය පතා පැමිණි අයගේ බලාපොරොත්තු බිඳ වැටුණි. අසරණ, පීඩිත, අවංක මිනිස්සු වෙනුවෙන් කතා කළාවූ, තමන්ව සුව කළ, තමන්ට ප්‍රේම කළ, තමන්ට අනුකම්පා කළ, ප්‍රේමණීය යේසුස් වහන්සේ මරණ දඬුවම ලැබීය. මෙය කොයි තරම් ශෝකාකූල දෙයක්ද? උන්වහන්සේගේ මරණය සිදු වූ  මොහොතේ අහස අඳුරු විය. පොළොව කම්පා විය. මේ සියල්ල සමඟ ක්‍රිස්තුස් වහන්සේව මළවුන් අතර රඳවා ගන්නට මරණයට පවා නොහැකි විය. මිනිසුන්ගේ බිඳ වැටෙන බලාපොරොත්තු මධ්‍යයේ උන්වහන්සේ රාත්‍රි දෙකකට පසු තුන්වෙනිදා එනම් ඉරු දින මරණයෙන් උත්ථානය වුයේ නැවතත් මනුෂ්‍යයන්ගේ හදවත් වලට බලාපොරොත්තුවක් ඇති කරමින්ය. එය  උතුම් වු, සදාකාලික වු දෙයක්ය.

බලාපොරොත්තුවක් නැති විට, හිස ඔසවන්න බැරි තරමට ප්‍රශ්න වැඩි වෙද්දි, යේසුස් වහන්සේගේ පාමුලට පැමිණීම හැර අපට වෙන සරණක් නැත. උන්වහන්සේගේ පාමුලට පැමිණෙන සෑම දෙනාටම ප්‍රේම කරමින්, ඉදිරියට යෑමට ශක්තිය දෙන සේක. පාපයේ බර සහ වේදනාව උන්වහන්සේ විසින් දරාගෙන අපට සහනය ගෙන දුන් සේක. ජීවිතයේ සියලු බලාපොරොත්තු බිඳ වැටී, කිසිම සරණක් නොමැතිව අසරණ බවට පත්වුණු ජීවිත වලට උන්වහන්සේ නව ජීවනයක්, නව බලාපොරොත්තුවක් දුන් සේක. මුළු ලෝකයට නව ආරම්භයක් දීමට උන්වහන්සේට හැකි විය. එනම් ක්‍රිස්තුස් වහන්සේගේ පැමිණීම සමඟ නව ආරම්භයක් ලොවට ඇති වූ බැවින්, ක්‍රිස්තු වර්ෂ ආරම්භ විය. උන්වහන්සේ ඇති කළ මෙම නව ආරම්භය දැකගත හැකි වන්නේ, මෙම වෙනස්වීම් තුළිණි. දෙවිඳුන්ගේ දිව්‍ය සැලැස්ම වූයේ, අපගේ පාප වෙනුවෙන් යේසු සමිඳුන් පූජාවක් වී, සියලු පවින් අපව නිදහස් කිරීමය. එබැවින් උන්වහන්සේ වෙතට පැමිණ, උන්වහන්සේ පිළිගන්න සියලු දෙනාට පාපයේ නිදහස දෙන සේක.

නිදහස් ජීවිතයක් ඇති වන්නේ මිනිස් හදවතට ඇති වෙන සාමය නිසාය. සාමය හදවතට ඇති වූ කල්හි මිනිසාගේ බාහිර පෙනුම ද වෙනස් වේ. ඇතුළාන්ත සාමය බාහිර ජීවිතයේ වෙනසක් ඇති කිරීමට සමත් වේ. සාමය නිරායාසයෙන් ඇති නොවේ. එහෙත් ආයාසයෙන් ද ඇති කර ගත නොහැකි වේ. මේ සඳහා බලපානුයේ මිනිසාගේ ආකල්ප පමණි. ආකල්පවලින් බොහෝ දේ වෙනස් වේ. ආකල්පයක් හදවතේ සමෘද්ධිමත්ව ගොඩනැඟීම පහසු නැත. ඒ සඳහා යහපත් වටපිටාවක් අවශ්‍ය වේ. වර්තමානයේ බොහෝ දෙනෙකුට යහපත් වටපිටාවක් නොමැති වීම ප්‍රශ්නයකි. මේ වටපිටාව ඇති කර ගැනීමට නම් මිනිස් හදවතේ නිදහස ඇති කළ යුතුය. එය එක විට, එක මොහොතකදී ඇති කර ගැනීමට නොහැකිය. මේ නිසා ඉවසීම පුරුදු කර ගත යුතුය. යේසුස් වහන්සේ තම ඇතුළාන්තයේ ඇති කරගත් සමාදානය පිටත සිටි ජනතාවට පිරිනැමූ සේක. එය දේව සැලැස්මයි. එහෙත් එය සාමාන්‍ය මනුෂ්‍යයෙකුට කිරීමට අසීරුය. බාධා ඇති තෙක් ඉදිරියට යෑමට නොහැකි බව බොහෝ දෙනාගේ මතයයි. එහෙත් බාධාව කෙතරම් විශාල වුවත්, දෙවිඳුන්ගේ උපකාරයෙන් එය ජය ගත හැකිය.දෙවියන් වහන්සේ ක්‍රිස්තුස් වහන්සේ තුළ ජීවිතය ජය ගැනීම අපට කියා දෙයි. බාධාව ජය ගැනීමට නම් නොලැබුණු දෙය ලැබේ යැයි යන ඇදහිල්ල හා විශ්වාසය දෙවිඳුන් තුළ තිබිය යුතුය. දෙවිඳුන්ගේ යහපත්කම ගැන දෙවිඳුන්ට ස්තුතිදීම හා ප්‍රශංසාව ආශිර්වාදලත් මාර්ගයේ අපව ගෙනයයි.

ඔබ දෙවියන් වහන්සේ ගැන නොදන්නා අයෙකු වුවත්, මේ කියවූ පණිවුඩය ගැන අවධානය යොමු කරන්න. සෑම දිනම දෙවියන් වහන්සේට ජීවිතය භාර දී කටයුතු කරන්න. එවිට ඔබට සැනසීම උදාවේ.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s