දේශය වෙනුවෙන් පසුතැවිලි වීමේ ප්‍රකාශනය

දෙවියන්වහන්සේ ප්‍රේමණීයයි, උන්වහන්සේ කරුණාවන්තය, ඉවසිලිවන්තය. එනමුත් උන්වහන්සේ යුක්තිගරුක සහ සාධාරණත්වය ඉටුකරන දෙවි කෙනෙක් වන බැවින්, අසාධාරණය සහ අයුක්තිය නිසා පීඩිතව සිටින්නන්ගේ මොරගැසීමට සවන් දෙන සේක. ඉතිහාසය පුරා බලන විට, දේශයන් දෙවියන්වහන්සේගේ ඉවසිලිවන්තකම සහ කරුණාව සුළු කොට තැකීම නිසා, ඔවුන් තම දුෂ්ඨ ක්‍රියා ගැන එතුමන්ගේ උදහසට ලක්ව තිබේ. මෙවන් උදසහසකට ලක්වූ මොහොතකදී, මනුෂ්‍යයන් තමන්ගේ වැරදි ක්‍රියා ඒත්තු ගෙන එම ක්‍රියා අත්හැර, එනම් “පසුතැවිලිම” යන ක්‍රියාවෙහි යෙදෙන විට, දෙවියන්වහන්සේ මැදහත් වී, උන්වහන්සේගේ කරුණාව නැවත වතාවක් දක්වන ආකාරය අපට බයිබලයේ දැක ගත හැකිවේ.

දේශය වෙනුවෙන් ශ්‍රි ලාංකික කිතුනු ප්‍රජාවක් ලෙස, මෙවන් නිශ්චිත මොහොතක, අප “පසුතැවිලිවීමේ” ක්‍රියාවේ යෙදෙමුව:

අපගේ දේශය නිදොස් ලේ වැගිරීමට යුහුසුලු වීම පිළිබඳව, අපි පසුතැවිලි වෙමු. මිනිස් ජීවිතයේ අමිල බව සහ වටිනාකම , අප කෙලසීමට ලක් කර ඇත්තෙමු. අපගේ පක්ෂග්‍රාහි, නොමනා ක්‍රියාකාරකම් වල ප්‍රතිථලයක් ලෙස, වැන්දඹුවන්, අනාථයන්, ආබාධිතයන් සහ තනිවූ දෙමාපියන්ගේ කඳුලු, අදෝනාවන් සහ විලාපයන් අප  නොසළකා ඇත්තෙමුව. දේශය පුරා වැගුරුනු නිදොස් ලේ මතින් නැගෙන විලාපය, අපගේ භූමිය වෙලා තිබෙන බව හැඳින ගෙන, සර්වබලධාරී දෙවිඳුන්ගේ කරුණාවත්, අපගේ අයුුතුකම් වලට කමාවත්, දේශයට සුවයත් ලැබෙන පිණිස, අප මුලු හදින් යාච්ඤාවෙන් කන්නලව් කරමු.    

වරපුසාද වෙනුවෙන්, දේශයක් ලෙස නූතන වහල්භාවයට ගැතිව ක්‍රියා කිරීම ගැන අපි පසුතැවිලි වෙමු. අපගේ ආදරණීය මව්වරුන් සහ අගණා දියනියන්ට විය හැකි, අන්තරාය සහ අවධානම දැන දැනත්, විදේශ විනිමය උපයන පිණිසත්, පවුලේ ආරථිකය නගා සිටුවන පිණිසත්, අප ඔවුන් විදෙස් ගත කර ඇත.දෙමව්පියන් මෙලෙස විදෙස් ගත වීම හේතුවෙන්, දියණියට තම මවගේ රැකවරණයත්, පුතුට තම පියාගේ මඟ පෙන්වීම අහිමිවීමත්, පවුල් සංස්ථාව සම්පූර්ණයෙන් බිඳවැටීමෙන් ඇති වන අනිසි විපාක පිළිබඳව අප අසංවේදී වී ඇත. දේශයක් ලෙස, ධන තණ්හාවෙන් අන්ධ වී සිටින අප ට කමාවී, අපගේ ඇස් පෑදෙන පිණිසත්, සෑම අංශයකටම බල පවත්වන, සාකල්‍යය වූ, ව්‍යාපාරයන් සහ ව්‍යාපෘති තුලින් දේශීය ආර්ථිකය ගොඩ නගන පිණිස අපි යාච්ඤාවෙන් කන්නලව් කරමු.

 අතුරුදහන් වූ බොහෝ දෙනා වෙනුවෙන් අපි දේශයක් ලෙස පසුතැවිලි වෙමු. මෙකී අතුරුදහන් වීමට ලක්වූවන්ගේ පවුල්වල සෙසු අය කණස්සල්ලට පත්වී ඇත්තේ, ඔවුන්ගේ මෙම වේදනාත්මක අහිමිවීම් ඒත්තු නොගැනීම, ඔවුනට නිසි විසඳුමක් ලබා නොදීම, ඔවුන් නගන අඳෝනාවට සංවේදී නොවී, අප අපගේ සෞභාග්‍යයමත් අනාගතයන් උදෙසා වෙහෙස වීමට මුල් තැන දීමෙනි. මෙම සිදුවීම් වලට වග කිය යුතු අය, ඉහල තණතුරු තානාන්තර වලට පත්කිරීම හේතුවෙන්, එකී වින්දිතයන් තව තවත් අසරණ වී ඇත. කෘර ලෙස වධබන්ධයට ලක් කර, අමානුෂිකලෙස මරා දමා, ගංඟාවල පහකර දෑමූ, සමූහ මිණිවලවල් වල තැන්පත් කර ඇති, හඳුනා නොගත් පුද්ගලයන් ගැන අපි වැලපෙමුව. “නැවත මෙලෙස නොවේවා” කියා දේශයක් ලෙස එක හඬකින් ප්‍රකාශ කරන පිණිස, සර්වබලධාරී දෙවිඳුන් අපට චරිත ශක්තිය ලබා දෙන මෙන් යාච්ඤාවෙන් කන්නලව් කරමු.

බලය ලබා ගැනීම සඳහා, යුක්තිය විකෘති කර දුෂ්ට උපක්‍රම හරහා දුප්පතුන් අසරණබාවය අයුතුලෙස යොදවා ගැනීම පිළිබඳ අපි අපේ දේශය වෙනුවෙන් පසුතැවිලි වෙමු. ප්‍රසිද්ධ මාධ්‍ය අවභාවිතා කරමින් සත්‍ය අසත්‍යය කර, යුත්තිය අයුක්තිය බවට පෙරළීම පිළිබඳව  අපි අපේ දේශය වෙනුවෙන් පසුතැවිලි වෙමු.

අපගේ දීප්තිමත් දිවයිනේ සෑම අස්සක් මුල්ලක් නෑරම දැනෙන මෙම ශාපයට හේතුව, සත්‍ය ගවේෂණයට අපගේ නායකයින් කැප නොවීම සහ අසමත් වීමය. මේ පිළිබඳව අපි පසුතැවිලි වෙමු.

දේශයේ වැසියන් මනා අවබෝධයෙන් ක්‍රියා කරන පිනිසත්, ඉහල බලධාරීන්ගේ අසත්‍යය ප්‍රකාශ කරණ මුඛයන් වැසෙන පිණිසත්, අප සර්වබලධාරී දෙවිඳුන් අයැද සිටිමු.

අපගේ දේශයේ ජාතීන්, ආගම් හා කණ්ඩායම් අතර ද්වේෂයන් ඇති කිරීමෙන්, එකි නෙකාට විරුද්ධව නැගී සිටීමට දිරිය සහ අනුබල දීම ගැන අපි පසුතැවිලි වෙමු. දේශය නගා සිටුවිය හැකි අවංක විද්වතුන්  පසෙකලා, දේශයට විණ කරන අධමයන්ට සෞභාග්‍යය සලසා දීම සහ අප අතර ඇති විවධත්වයේ වටිනාකම කෙලෙසා, එක් කණ්ඩායමකට පමණක් වරදාන සහ වරප්‍රසාද දීමෙන් අයුතුකම සහ අසාධාරණයට මං පැදීම පිළිබඳව අපි පසුතැවිලි වෙමු.

අතීතයේ සිටි, වර්තමානයේ සිටින රඳලයන් සහ ධනවතුන් විසින්, සාමාන්‍ය ජනතාවගේ වේදනාවන් සහ සිතුම් පැතුම් වලට සංවේදී නොවීම පිළිබඳව අපි පසුතැවිලි වෙමු. බහුතරයක් තම දෛනික සහ මූලික අවශ්‍යතාවයන්  පිරිමසා ගැනීමට නොහැකිව, වේදනාවෙන් සහ අසහනයෙන් සිටින මොහොතක, සුළුතරයක් පමණක් පරම්පරාගණනකට සෑහෙන වත්කම් උපයා ගැනීම පිළිබඳව අපි පසුතැවිලි වෙමු. වරෙක ආගන්තුක සත්කාරය සහ මානව දයාවට ප්‍රසිද්ධියක් ඉසිලූ අප, අද වන විට අල්ලසට සහ දූෂණයට නම් දැරීම පිළිබඳව අපි පසුතැවිලි වෙමු. අපගේ ලක් මවට සහ එහි වැසියනට සිදු වී ඇති මෙම ව්‍යයසනයෙන් අප මුදා නැවත සෞභාග්‍යය උදා කරණ මෙන් සර්වබලධාරී දෙවිඳුන්ගෙන් අයැද සිටිමු.

සමාජයේ සෑම ස්ථරයකම පාහේ දක්නට නොලැබෙන වගවීම හෙවත් ගණන්දීම පිළිබඳව අපි පසුතැවිලි වෙමු. නූතන සමාජය තුළ පවතින විෂමතාවයට මෙය හේතු වී ඇති අතර, බහුතරයකගේ අව්‍යයතාවයන් පිළිබඳ බලවතුන් සංවේදී වී ඇත. මෙම අත්තනෝමතික ක්‍රියාවන් හේතුවෙන් තාරුණ්‍යයේ සහ ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ සිහින බොඳවී තිබීම ගැන අපි පසුතැවිලි වෙමු.

සමිඳුනි, අප මෙතෙක් ආ වැරදි මඟ වෙනස් කර, අපගේ පසුතැවිලි වීමේ කණ්නලව්වට සවන් දී, මෙම සුන්දර දේශයට ආශිර්වාද කළ මැනවි. ඔබ වහන්සේ ඉදිරියේ අප යටහත් වන මෙම මොහොතේ, නැවතත් අපගේ කෙත් වතුවල සරුසාර අස්වැන්කන්, සකල විධි නිමැවුම්, නිර්මාණ හා නිශ්පාදන මත උතුරායන සඵලත්වයත්, මහ සයුරේ සකල විධි සම්පතින් අප පෝෂණය කළ මැනිවි. විඩාවට පත් ලොවක සිටින මිනිසුන්, දස දෙසින් නැවත වරක්, අප මව් බිමට පැමිණ, එහි ඇති ස්වභාව සෞන්දර්යය සහ ශ්‍රී ලාංකීය මිනිසත්කම භුක්ති විදීවා

මෙම පසුතැවීමේ ක්‍රියාවට එක්වන ලෙස අපි සැමට ආරාධනා කරමු.

විධායක කමිටුව සමග
දේවධර්මාචාර්ය එරල් ක්‍රිසෝකුමාර් හැන්ඩි (සභාපති)
එසේම්බිලිස් ඔෆ් ගෝඩ් – ශ්‍රී ලංකා

Advertisement